Wednesday, May 17, 2017

පණපිටින් ජිවිත දවාළු ඒ අමානුෂික අතීතයට.... 3



අනේක දුක් කඳවුරක විඳි, මරණ බයෙන් හැකිළුණු ඒ අහිංසක මිනිසුන්ගේ කඳුළු කතාවේ ඉතිරිය ම වෙත දිග හැරියේ , හයිෆා ගේ ආදරණිය සැමියා වූ ආරොන් දයාන් යහ්ලොම් ය Aaron Dayan Yahlom ඔහු 1930 අගෝස්තු මස 23 දින පෝලන්තයේ උපත ලද අතර   ඔහු දෙමාපියන් සමඟ වාසයට ජර්මනියට ආවේ යුධ භීතිය එන්නට පෙරාතුව කිරිදරුවා සමයේදීය.  
එල්ලා වද දුන් අයුරු
මගේ  පියා වෛද්‍යවරයෙක් මව සාත්තු සේවිකාවක් මගේ පවුලේ සහෝදරයෝම තුන්දෙනෙක් අපි කාටවත් කරදරයක් වුන අය  නෙමෙයි අපි අපේ පාඩුවේ ජිවත් වුන අය. ඔය කියන අසික්කිත කාලය පටන් ගත්තේ මිනිසුන් භීතියෙන් පිඩාවට පත් කරමින්. මගේ පියා උත්සහ කලේ ඇමරිකාවට පැන ගන්න නමුත් සියලුම දෙනා ඇමරිකාවට යන්න දැඟලීම නිසා අපිට ඒ දේ කරගන්න බැරිඋනා. මුළු ජර්මනියම භීතියට පත් කරමින් කෘරත්වය පියාසර කරන්නට උණා. නොහිතූ මොහොතක මගේ පියා රෝහලෙන් වැඩ ඇරී ගෙදර එද්දී උස්සන් ගියා. අපිට ඒ ආරංචිය දුන්නේ අපේ අල්ලපු ගෙදර හිටපු මහත්තයා. එයා අම්මට කියුවා දරුවොත් අරන් පැනලා යන්න කියලා, ඒ දේ කරන්න හමු උණේ නැ අපිව කුදලන් ගියා, මගේ අම්මා අය්යලා දෙන්නා කොහාට උණාද දන්නේ නැ, අය්යලාව වෙනම යැව්වා අපිව වෙනම දැම්මා.

නිදහස් කරන මොහොතේ සිරකරුවන් සිටි අයුරු
අපිව ඇතුලට ගත්තේ ඇඳුම් සේරම ගලවලා මගේ තට්ටේ බු ගාලා විශාල හෝර්ස් එකකින් වතුර ගහලා නාවලා ඉරි පිජාමාවක් දුන්න අඳින්න එතන ඉඳලා අපිව නොමරා මරුවා.
මම අවුරුදු 8 ක් හිටියා කඳවුරෙන් කඳවුරට යමින්. ඔය කඳවුරු වල ඉන්න අය  ලව්වා වෙඩි උන්ඩ  පිරෙව්වා, අන්තිමේදී එව්වා ටෙස්ට් කලෙත් ඒ දේ කරපු එකාටම වෙඩි තියලා ඔය වගේ වාගේ පාහර  ක්‍රියාවන් තමා කඳවුරු ඇතුලේ උනේ. මාව  දැම්මේ බරපතල වැඩ කොටසට, කොටන් ඇදීම පැලීම බංකර් හැදීම , බර ගල් උස්සන් යාම වගේ නොයෙක් වැඩ..
අපිට කන්න ලැබුනේ නැති තරම්, අපි කොටන් කරේ තියාගෙන යද්දී අපිට ගහන්නේ කස වලින් පිටට  ලේ පෙරෙනකම්. දවාලද රෑ ද කියලා අපිට වෙනසක් නෑ අපි බර වැඩ කලා. කන්න නොදී , ඉන්න සැලැස්සුවා ,  බෙහෙත්  වර්ග ටෙස්ට් කළා, විෂ වර්ග මිනිසුන්ට විද්දා, බැටන් පහර කාපු දවසක් නොතිබුණා නම් ඒ බොහොමත් කලාතුරකින් තමා.

එළිමහනේ පාසල්

එකම එක දවසක් මම අහම්බෙන් මගේ අම්මව දැක්කා කම්බි වැට අතරින් අනේ මට දරා ගන්න බැරි උණා , අම්මා හොඳටම වැහැරිලා , අත්  වලින් ලේ ගලමින් තිබුණා,  එදා තමයි මම අම්මාව අහම්බෙන් හරි දැක ගත්තේ,

අතීතය කටුකය කුහකය අත්මාර්තකාමිය. යුදෙව් ජාතිකයින් පමණක් නොව රතු ඉන්දියානුවන්ට ස්පාංඥ ජාතිකයෝ කලේද එයමය, පොල්පොට් කලේද එයමය, ඒ කිසිම දෙයක් හරි යයි කියන්නට අපට බැරිය, එය එසේ නොවුණානම් හොඳ යයි කියන්නද   අපි දන්නේ නැත. කටුක අතීතය හාරා අවුස්සා ඔවුන් වසර ගණනාවක් තිස්සේ විඳවන විඳවිල්ල තවත් තුවාල කරන්නට මට සිත දුන්නේ නැත. මෙවන් පාපතර ක්‍රියාවන් අපේ රටේ නොවුණා නොවේ, වධකාගාර නොවුනද අවිහිංසක විශ්වවිද්‍යාල සිසුවන්ට කලේද එයමය එදා වධකාගාරයේ ගිනි උඳුන සහ  අපේ ටයර් සැයත්  අතර වැඩි වෙනසක් ඇතිද? 
හයිෆා හදා වඩා ගත් යුවළ

මම කතාව ඔවුන්ගේ ගැලවීමෙන් පසු දිවිය කරා යොමු කලෙමි. ආදර්ශය එතනය වධකාගාරය තුළ  නොව. මම දන්නා තරමින් අදිනා ඔවුනගේ ආදරණිය මිනිබිරියකි ඒ වගේම ඔවුන් දෙපලට තවත් දරුවන්  ඇති බව අදිනා මට පවසා තිබුණි. මේ ඔවුනගේ කතාවයි
හයිෆා සහ ආරොන් වධකාගාරයහි දුක් විඳි දෙපළකි. මේ ඔවුන්ගේ සැබෑ ජීවිතයයි.
හයිෆා අයගේ දිවිගලවා ගැනීමෙන් පසු දිවිය සිහි කරන්නෙ මෙසේය. අපිව නිදහස් කරගත්තේ ඇමරිකානු හමුදාව සහ මිත්‍ර හමුදාව එදා ඩකවූ Dachau වලට පහර දෙද්දී ද සැහෙන්න ජිවිත ගණනාවක් විනාශ වුණා වෙඩි වැදිලා. මට අදටත් මතකයි ඇමරිකානු සොල්දාදුවෝ දුවගෙන ඇවිත් අපිව වට කරලා ආරක්ෂාවට හිටපු හැටි එක සොල්දාදුවෙක් කියුවා ඔයාලා නිදහස් කියලා, මට නම් නිදහස් කියන්නේ මොකද්ද කියලා වත් වැටහීමක් තිබ්බේ නෑ. මම ඒ තරම්ම කායිකවයි  මානසිකවයි හොඳටම වැටිලා හිටියේ. අපිව ගලවා ගත්තා කියන දේ ඔලුවට ගියෙත් අපිව ඉන්ඩර්ස්දොර්ෆ් Kloster Indersdorf තාවකාලික ළමා රැඳවුම් කඳවුරට ගෙනගියාට පසුවයි. 
කායිකව සහ මානසිකව අඩපන වූ දරුවෝ
අපිව යුහුසුලුව වෛද්‍ය පර්යේෂණ වලට යොමු කෙරුණා අපිව විෂබීජ නාශක බෙහෙත් වලින් නැව්වා, උණුසුම් කෑම වේලක් දුන්නා, ඇඳක් සහ පිරිසිදු ඇඳුම් දුන්නා නමුත් අර මානසික සහ කායික දුෂණ මතකය අපට වද  දුන්නා.  නිදා ගන්න දුන්නෙම නෑ නපුරු හීන කුරිරුකම අපි හීනෙනුත් විඳෙව්වා. නමුත් ළමා රැඳවුම් කදවුරේ මානසික වෛද්‍යවරු සැහෙන්න වෙහෙසක් ගත්තා අපිව සුවපත් කරන්න. එත් කටින් කියන තරම් අපිට ලේසි වුණේ නෑ. නමුත් කාලය සමඟ අපි ජිවත් වෙන්නට ඉගෙන ගත්තා අපි සමඟම නිදහස් වුනු පිරිමි දරුවෙක් බාල්කයක එල්ලිලා සිය දිවි හානි කරගත්ත වෛද්‍යවරු එකට කිව්වේ නිදහස් වීමේ හර්දය සාක්ෂිය Survivors Guilt  නිසා කියලා. ඒ ඉන්ඩර්ස්දොර්ෆ් කියන ළමා කඳවුර තාවකාලික නවාතැනක් උණා අපි හැමෝටම අපි කුඩා දරුවන් නිසා අපිව බලාකියාගන්න දෙමාපියන් ලඟට පිටත් කළා ලියකියවිලි ඇතිව. මට ලැබුනේ ඔස්ට්‍රියානු  ජාතික මවක් සහ පියෙක් ඔවුන් දේපල මාව ඉමහත් ආදරෙන් බලාගත්තා. මට මහන්න, ගොතන්න ,උයන්න කියලා දුන්නා , ඒ වගේම පල්ලියේ පාසලට අකුරු කරන්න ඇරියා, 

නාම පුවරු සහිත දරුවන් නෑදෑයෝ සොයා

යුද්ධයෙන් විනාශ වුන නිසා පාසල පැවතුනේ ගස් යට එළිමහනේ. ඔවුන් ජිවත් වුනේ බෙල්ජියමේ. ක්‍රමයෙන් ක්‍රමයෙන් යුරෝපය යුධ විනාශයෙන් සුවපත් වෙන්නට පටන් ගත්තා. නමුත් කාටවත් ඒ වේදනාව අමතක වුනේ නෑ . ජීවිතය අපට ලෙහෙසි වුනේ නෑ විශාල සටනක් කරන්න උණා අපිට නැවත ජීවිතය ලබා ගන්නට.
මාව හදා ගත පවුලට මුදල් අපහසුකම් නොතිබුණා නොවෙයි නමුත් ඔවුන් මටත් තවත් පිරිමි දරුවෙකුටත් දෙමාපියන් උණා. ඔවුනගේ දරුවන් දෙදෙනා සමඟ අපි 4 දෙනෙක් ඒ ගෙදර හිටියා. ඒ දෙන්න අපි හැමෝටම ආදරෙන් සැලකුවා. මගේ ඥාතියෝ නම් කවුරුවත් මට ආපසු හම්බ උනේ නෑ කදුළු රූරා වැටුණු දෙනෙතින් ඇය මා සමඟ පැවසුවාය. වයස අවුරුදු 16 වෙද්දී මම ගණකාධිකරණය විභාගය සමත් උණා. ඒ මඟින් මට ග්‍රාමීය බැංකුවක ලිපිකාර තනතුරකට යන්නට හැකි උණා. එතනින් තමා මගේ ජීවිතය ක්‍රමයෙන් ක්‍රමයෙන් ඉදිරියට  ගියේ.. මම හැම විටම පොත් පත් කියෙව්වා  අර කුරිරු මතකය මනසින් අතුගා  දමන්න. ඒ නිසාම පොත පතේ වැඩට මම දක්ෂ උණා එනිසාම තමා  මට මෙතරම් ඉක්මනින්ම රස්සාවක් ලැබුණේ, මදහස් සිනාවකින් යුක්ත වූ ඒ මුහුණේ කුඩා ආඩම්බරයක්ද මම දුටුවෙමි.  

කටුක දිවියක හැලහැප්පීම් මත ගොඩනැගුණු ඒ ජිවිතයේ අරුණාලෝකය වූ ඒ ආදරණිය සැමියා මුණ ගැසීමද ඇයගේ දෛවය විය හැක. එම දුක විඳි කෙනෙක් එම දුක අඳුරයි එසේ නොවුණා නම් ඇයටද දිවි ගෙවන්නට වෙන්නේ තමුසේ දෙසාබාන්නේ බොරු ඕයි හිට්ලර් හරි හොඳා එයා තමා ජර්මණිය ජර්මන් ජාතිකයින් පළමුව කියලා ගොඩනැගුවේ කියන මතයේ ඉන්න ඇලේ ගෙම්බෙක් සමඟ විය හැක,, නමුත් එය එසේ නොවුණි. එය ඇගේ වාසනාව ලෙස මම සිතමි.  
 
ආරොන් මහතා සොයුරන් සමඟ
එදා කඳවුරක බැට කෑවද ජිවිතයේ හැල හැප්පීම් සියල්ල විඳ දරාගෙන ආදරණිය දරුවන් 5 දෙනෙන්කුට පියෙක් වූ ඒ ආදරණිය සැමියා ආරොන් මහතා දෙස මගේ  නෙත් යොමු විණි.




ඒ ආදරණිය වචන පෙළ මීළඟ ලිපියෙන් ගෙන එන බලාපොරොත්තුව ඇතිව මම අදට නවතිමි.
පිංතුර සහ මතකයේ අයිතිය අදිනා සහ අයගේ පවුල සතුය!  මෙම පින්තුර යුදෙව් ජාත්‍යන්තර සංවිධානය මගින් වෙනත් වෙබ් අඩවි වල පල කර ඇති බව මගේ මිතුරිය පවසා සිටියාය.

සූරී- නෙදර්ලන්තය

Wednesday, May 10, 2017

පණපිටින් ජිවිත දවාළු ඒ අමානුෂික අතීතයට.... 2



තරමක විරාමයෙන් පසුව......
අපි කොතනින්ද නතර උණේ ඇය මගෙන් ඇසුවේ දයාව පිරුණු හඬින් , හෝර්ස් වලින් වතුර ගහන තැනින් මම කියුවේ ඇයට සිනහවකින් සංග්‍රහ කරමින්. මම ඇගේ නම කියන්න තතනන බව තේරුම් ගත්  ඇය මට පැවසුවේ මට කවුරුත් කියන්නේ හයිෆා කියලා ඔයත් එහෙමම කියන්න කියා පැවසුවේ මට සිනහවකින් සංග්‍රහ කරමිනි,

ඉතින් අපි නාල හීතලේ ඉන්නවා නේ වෙලෙනකම් , නමුත් ශීතල කාලය ගැන හිතන්න සමහර ළමයි උණට , තවත් නොයෙක් ලෙඩ රෝග වලට ගොදුරු උණා , හේතුව අපිරිසිදු කම , කෑමක්  නොමැතිව ඇඟ දුර්වල වීම සහ මානසික ආතතිය සහ දුෂණය.
ළමා කඳවුරේ දරුවන් කොටසක්.
උදේ  පාන්දර 04:00 ට  විසිල් ගහලා  ඇහැරවනවා අපිව ගාල් කරලා ගනින්න පටන් ගන්නවා ගනිද්දී වැරදුනොත් ආයිත් මුල ඉඳලා ගණිනවා , ඔය විදිහට පැය 3 ක් හෝ 4 අපි වතුර වත් නොමැතිව හිටගෙන උදේ පාන්දර. ඊට පස්සේ අපිව දම්වැල් දාල අරන් යනවා වැඩ කරන තැන් වලට. නපුරු සොලදදුවෙක් නලා පිඹිමින් නිතරම වැඩට යොදවනවා. උදේ 08 පටන් ගත්තම හවස 2ට තම වතුර විවේකය දෙන්නේ ඊට කෝප්පයක් නොමැති නම් ඒ වතුර උගුරත් නෑ සමහර නපුරු සොල්දාදුවෝ අපේ කෝප්ප විසි කරනවා , මම මගේ කෝප්පේ බෙල්ලේ එල්ලන් ඉන්න පටන් ගත්තා ඒ නිසා වතුර උගුර මට ලැබුණා. ඉතාමත් කළා තුරකින් අපිට ලීක්ස් සුප් දුන්නා. සමහර සොල්දාදුවෝ හිටියා මනුස්සකම් තියෙන. නමුත් එයාලත් එයාලගේ නපුරු පාලකයා ඉදිරියේ අසරණයි. සමහර සොල්දාදුවෝ හිටියා තමන්ට ලැබුණු කෑම දරුවන් අතරේ බෙදපු. එහෙම උත්තමයන් වැඩි කල් ජිවත් උනේ නෑ . දවසක් අපිට  කන්න කේක් කෑල්ලක් දීපු සොල්දාදුවාව අපි ඉස්සරහම වෙඩි තියල මරලා දැම්මා. ඔය දේවල් පුංචි අපි ඇස් වලින්ම දැක්කා. අපි පන බයේ ගැහුණා අපි එකිනෙකා බදා ගෙන කෑ ගහලා ඇඬුවා.
 
යුධයෙන් බැට කෑ දරුවෝ
මෙම කඳවුරු ඇතුලත කිසිම කෙනෙක් නොදන්නා දේ සිදු උණා , ගෑස් කාමර වලට යැව්වේ මරන්න්නටත් වඩා , එවා වෛද්‍ය
පරීක්ශණ,  ගෑස් කොලිටිය චෙක් කලේ උන් එහෙමයි. ඒ වගේම වධ දීමේ ක්‍රම අත්හදා බැලීමේ පාසැල ලෙසයි ඩකාවූ  Dachau කඳවුර නාසි හමුදාව නම් කලේ. ඒ වගේම විවිධ බෙහෙත් වර්ග පර්යේෂණ වලටත් මෙම සිරකරුවන් ව යොදා ගත්තා, ඔය එක වධකාගාරයක් වත් සුන්දර පාරාදීසයක් නෙමෙයි. ඒ විශාල තාප්ප තුල වෙන්නේ මොනාද කිසි කෙනෙක් දැන සිටියේ නෑ. මෙහි 206,206 සිරකරුවන් සිටියා ,බොහොම  188,000 සුළු පිරිසක් තමා ඉන් එලියට අවේ නමුත් එකත් දළ වශයෙන් බොහොමයක් අය අසනීපෙන් හිටියේ. අපි වගේ කුඩා දරුවන් හැරුණු කොට හුඟක් උගත් පිරිසක් ඔය සිර කරුවන් අතර හිටියා, මහාචාර්ය වරු , ගුරුවරු,වෛද්‍ය වරු, එකී නොකී තානාන්තර දරපු අය  හිටියා , ඔය හැම කඳවුරක්ම භාර වුණේ එස්එස් SS හමුදාවට එයාලගේ වගකීම තමා වර්ග සංහාරක ඝාතනය තිතට ක්‍රියාත්මක කිරීම. 

1945 අප්‍රියෙල් මස 29 දින ඇමරිකානු හමුදාව ඩකාවු Dachau කඳවුරට පැන්නා , මට එතකොට අවුරුදු 9 යි මම අවුරුදු 4ක් ඔය කාලකණ්නි කඳවුරේ දුක් වින්දා , මට මින්ත්තු පැය ගෙවෙනවා දැනුණා , අපි නිදහස් කලාට පස්සේ අපි වගේ කුඩා දරුවන්ව ආයතනයකට භාර කළා මොකද මගේ දෙමව්පියන් මියගිය නිසා. කාලකන්ණි  යුද්ධය ලෝකෙම විනාශ කලා, යුරෝපයේ රටවල් සියල්ලම වගේ දුර්වල වෙලා තිබ්බේ. අපිව භාර ගත්ත ආයතනය, අපිට රැකවරණය දුන්නා, අපිව ළමා කඳවුරකට එක්කන් ගියා නෙදර්ලන්තය මායිමේ තිබුණු, 


ඇයව භාර ගත තාවකාලික ළමා කඳවුර
මම එලියට ආවේ කිසිම දෙයක් නැතිව මගේ නම විතරක් අරගෙන පච්චේකුත් එක්ක. එලියට ආවට මම හරියට දුක් වින්දා , කඳවුර ඇතුලත මුහුණ දුන් දෙයින් මගේ මානසික  තත්වය විකෘති වෙලා කම්පනයට පත් වෙලා තිබ්බේ. මට නින්ද ගියේ නෑ , කන්න බැ , වතුරට බයයි , බඩ  කකියනවා වමනෙට එන්න වගේ එනවා ,  විඳපු මිනී මාරු හීන නිතරම පෙනෙනවා, වසර 4 පමණ කාලයක් මම ඩිප්රේෂන් Traumatic Depression එකෙන් දුක් වින්දා . නමුත් ළමා කඳවුරේ වෛද්‍ය සේවයට පිං අයිති වෙන්න මම ආයිත් ක්‍රමයෙන් දරුවෙක් වුණා , අපිට කන්න තුන් වේලම ලැබුණා , අපි ගැන හොයලා බලන්න දෙමවුපියන් හිටියා. සුව පහසු ඇඳක් කොට්ටයක් පිරිසිදු ඇඳුම් ලැබුණා. අපි නැවත දරුවන් වුණා. ක්‍රමයෙන් ක්‍රමයෙන් අපි ජීවිතය විඳවන්නේ නැතිව විඳින්න ඉගෙණ ගත්තා, නමුත් ඒ අප්‍රසන්න කටුක අතීතය මනසින් තුරන් කරන්න නම් පහසු උනේ නෑ , අපි ජිවිතයට මුහුණ දෙන්න ඉගෙණ ගත්තා. සමහරක් ළමයි විතරක් නෙමෙයි වැඩිහිටි අය ඒ කියන්නේ කඳවුරු වල දුක් විඳපු අය නිදහස් වුනාට පස්සේ සිය දිවි හානි කර ගත්තා. අපේ නිවාසේ හිටපු අවුරුදු 17 පිරිමි දරුවෙක් සිය දිවි හානි කර ගත්තා ඒ විදිහට.
වධකාගාර වල ලිංගික අතවර වලින් උපන් දරුවෝ
 ඔය වගේ කැම්ප් වල ඉඳලා බේරෙන්න නරකයි හයිෆා මට කියයි. මොකද යුද්ධය ඉවර වුනාට විඳවිල්ල ඉවර වෙන්නේ නෑ ඒක පටන් ගන්නේ එතනින්. ඒ වගේ මතකයක් එක්ක ජිවත් වෙන එකත් ලෙහෙසි නෑ . මම තාමත් වතුර පයිප්පෙට බයයි කෝච්චියට බයයි. විසිල් සද්දෙට තවමත් මට කලන්තේ හැදෙන්න එනවා. පුංචි වයස් වල මානසික කායික අඩන්තේට්ටම් වලට ලක්වුණාම ඒ කාලකන්නි අත්දැකීම් මුළු ජිවිත කාලෙටම ඔවුන්ගේ ජිවිත වලට බලපානවා කෘර දෝංකාරය රැවුපිළිරවූ දෙනවා. බලකාමය තණ්හාව ඉහට ගහපු උන්ට තේරෙන්නේ උන් ඒ කෘර සත්කාර වලට උන්ව ගොදුරු වුන දවසට. යුදෙවු විතරක් නෙමේ තවත් ජාතික , ආගම, වල අය ඔය කැම්ප් වල හිටියා. මෙහෙම කියද්දී ඇයගේ සැමියා ද කතාවට හවුල් විය. එතැන් පටන් විස්තර මම මීළඟ ලිපියෙන් ගෙන එමි.


විස්තර වල සහ මතකයේ  අයිතිය අදිනා  සහ ඇයගෙ පවුල සතුය!

සූරී- නෙදර්ලන්තය

Monday, May 8, 2017

පණපිටින් ජිවිත දවාළු ඒ අමානුෂික අතීතයට.... 1



ඩකාවූ කඳවුර එදා
මිනිසත් බව ලැබීම භාග්‍යක්  බව සැබෑ  නමුදු , කෘර බව දෝතින් දරා  දරුවන් උපදින බව උඩ තරු දෙස බලා නැකත් හදන කප්පිතන්ටත් අසු නොවන කරුමයක් බව ඉතිහාසය දෙස බලන විට අපට තේරුම් ගත හැක. යුදෙව්වන් වීම කරුමයක්ද නොමැතිනම් කුමක්ද යන්න මට අදටත් නොවැටහේ. තරුණ ළාබාල නිලධාරිණියක ලෙස  එක්සත් ජාතීන්ගේ සංවිධානයට මම  එක්වුණු වකවානුවේ, මා  එම සේවයට පුරුදු පුහුණු කරනු ලැබූ නිලදරුවන් අතරින් අදිනා යහලොම් Eidina Yahlom යුදෙව් ජාතික කාන්තාවකි. ඇය නිහතමානිය කරුණාවන්තය නමුදු අපහාස චෝදනා අසාධාරණය  හමුවේ ඇය සැපින්නකි නමුත් මගේ කථා නායිකාව ඇය නොව ඇගේ ආදරණිය මිත්තණියයි. දෙවන ලෝක යුධ සමයේදී ඉපදුන ඇය  යුදෙව් වධකාගාර වල රස දන්නා කෙනෙකි. ගොත ගැසෙන හඬින්  ඇය මට පැවසු ඒ වධකාගාරයේ අප්‍රසන්න තිත්ත කතාව ඇය මට පැවසු අයුරින්ම මම මෙසේ වදනට නගමි.
 
අමානුෂිකත්වය විදහා පෑම

ඇය නමින් හෙයිෆෙට්ස් හස්සන් ය Heifets Hassan , 1936 පෙබරවාරි 12 දින ඇය ජර්මනියේ මාන්හැයීම් නම් නගරයේ උපත ලැබුවාය. පවුලේ එකම දරුවා වූ ඇය ව්‍යාපාරික පියාත් මවත් සමඟ සතුටින් වාසය කළාය.
" මගේ පියාට කඩයක් තිබ්බා  මගේ මව මාවත් බලාගෙන මැහුම් ගෙතුම් කලා . ඉවුම් පිහුම් අම්මාට  හොඳට පුළුවන්”. ඇයගේ  මදහස් සිනාව ඇගේ  ළමා කල සිහිගැන්වූ  බවට කදිම නිදසුනකි. ඒ දවස් එතරම් හොඳ කාල නෙමෙයි. යුද්ධය පටන් ගත්  කාලය. භීතියෙන් ඇගේ  දෑස  කුඩා වී හැකිලෙන යුරු මගේ ගතද සසල කරන්නට සමත් විය. 
ගෑස් බෝතල් සුදානම් කිරීම

මගේ අම්ම කියන විදිහට අපේ අවාසනාවට හිට්ලර් ජනාධිපති උණේ. අපි හිතුවේ නැ  කීයටවත් මෙහෙම වෙයි කියලා.අපි ගුහාවකත් ජිවත් වුන  කාලයක් තිබ්බා . අපි ඇඳන් හිටපු ඇඳුම් පිටින්ම තමා හැංගෙන්න දිවුවේ. අනේ මට ලස්සන ලොකු පුසෙක් හිටියා. පව් අපිට ඌව  දාල යන්න වුණා . මට අදටත් දුකයි මතක් වෙද්දී අපිත් අසරණ වුණා නේ ඉතින් මොකෝ කොරන්නේ. අපි හිටපු ගුහාවේ කන්න තිබ්බෙත් නෑ හරියකට හිතවත් අය  අපට කන්න ගෙනත් දුන්නා  එයාලට පුළුවන් හැටියට. අපේ අම්මට තව දරුවෙක් ලැබෙන්න හිටියේ. එත් නාසි හමුදාව අපිව කුදලං ගියා. අපිව හරකුන් දක්කනවා වගේ ස්ටේසමට දක්කන් ගියා .මගේ අම්ම තාත්තා  ඇතුළු හැමෝමව. ඩකාවූ Dachau කඳවුරට අම්මව ගිය ගමන් වගේ නාන්න කියලා  කාමරයක් තුලට ඇරියා අනේ මම එදාට පස්සේ මගේ අම්මාව  ආයිත් දැක්කේ නෑ .  රූරා  වටෙන් කඳුළු තුලින් ඇය  කථා  කරද්දී මගේ සිත දිව ගියේ 88 /89 වසර ගණන් වල කැළණි ගඟ වෙතය. 
 
අළු වෙන ජිවිත
වධකාගාර ලෙසින්ම නොවුනත් සිදු වුනේ එකම දේ නොවන්නේද යන කුතුහලය මට ඇති වුණි, දවස් ගණන් ගල් කඩමින්  දුක්විඳි ඇගේ  පියා නාන්නට ගිය අතර ඇයට පියාද අහිමි විය. මම ගල් කැඩුවා , මිනී ඇද්දා , වලවල් කැපුවා මගේ පුංචි අත්  දෙකෙන්. මට දවස් මාස ගත වෙනවා හොඳට දැනුණා , මට අදටත් දරා  ගන්න බැරි දුකක් ඇති වෙන්නේ මගේ දෙමවුපියන්ට වුන දේ මතක් වෙද්දී,  මිනිසුන් හරියට එම කඳවුරු වල දුක් වින්දා, ඒක අපායක් එත් ජර්මන් ජාතිකයෝ වීඩියෝ කරලා පෙන්නුවේ උන්ගේ දරුවන්ට මේක සුර පුරක් විදිහට. එවන් ප්‍රෝඩා වලටද නාසි උන් දක්ෂයි. 
 
කෘරත්වයේ අභිමාණය පොතේ සලකුණු කරමින්

ඒ කඳවුරු හරිම ලේ ගඳයි ඒ වගේම මියෝ පිළිස්සෙන ගඳයි , රැට ගැනුන්ව ගෙනියනවා නාසි බැරැක්ක වලට ඇති  තරම් අමානුෂික විදිහට ලිංගික අතවර කරනවා සමහරු ඒ වේදනාවෙම මියගියා. එතකොට ගිහින් මල මිනි ගොඩට විසි කරනවා. මට කියන්න වචන නෑ එ ගැන. දරුවන් ලැබෙන්න ඉන්න අයව ඇත දරුවන්ව කෙලින්ම යවන්නේ නාන්න. නාසිය කියන්නේ දරුවෝ වසංගත කියලා. දම්වැල් දාලා ගෙනියන්නේ වැඩට , ගල් කඩන වැඩ , බංකර් හදන වැඩ , තවත් කොම්පැනි කාරයින්ගේ වැඩ මේ වහල්ලු කළා. කන්න ලැබුනේ පාන් පෙත්තක් එකත් එක්කෝ වේලිලා නැතිනම් තෙමිලා. බල්ලන්ට විසි කරනවා වගේ අපිට විසි කලේ. කඳවුර අවට ගෙවල්වල මිනිසුන් සමහර වෙලාවට වට අයිනට ගෙනත් මොනවා හරි අපිට දුන්නා, නමුත් එකත් හැමදාම නැත. මාස ගණන් සති ගණන් ගෙවුණා හැමදාම හවසට එදා දවස පන ගැලවීම ගැන අපි දෙවියන්ට ස්තුති කලා. 
 
නිරුවත් කොට තට්ටය ගෑම
අපි කාටත් තිබුණේ  අපි අද මරයිද හෙට මරයිද කියන බය. සමහරු බයටම මිය ගියා සමහරුන්ට කක්කාත් ගියා බයටම. මගේ අම්මා තාත්තා  මට නිතරම සිහි වුණා මට ඒ දෙන්නා  ළඟ ඉන්නවා වගේ දැනුණා මම හීනෙන් අම්මාව දැක්කා මගේබඩ කකියනවා එතකොට. මට මම විතරයි කියන දේ මට එතකොට මට හොඳින්ම වැටහිලා තිබ්බේ. මාත් එක්ක හිටපු හුඟක් අය අද හිටියා හෙට නෑ , මම වගේ දහස් ගණනක් දරුවෝ හිටිය යුදෙවු විතරක් නෙමෙයි හැම ජාතියක්ම වගේ හිටියා  නාසි ළමයි හැර. සමහර ය වෙන කඳවුරු වලට යැවුවා. අපිව ඒ කඳවුරේම තියාගෙණ  හිටියා . අපේ අතේ නොම්මරයක පච්චයක් කෙටුවා , ඉරි පිජාමා එකක් දුන්නා අඳින්න එව්වා කවදාවත්ම හේදුවේ නෑ අපි නෑවේ නෑ අපිට වතුර හෝර්ස් වලින් ගහනවා අපේ ඇඳුම් පිටින්ම ඊට පස්සේ අපි වෙවුල වෙවුල ඉන්නවා හීතලේ.
 
සිරුරු ගොඩ ගැසීම
 මට දැන් මහන්සි අපි තව ටිකකින් කථා කරමුද. ඇයගේ වයසත් මෙම කටුක කතාව සිහිපත් කිරීමෙන් ඇති වන කම්පණය ගැනත් සළකා මම  ඇයට විරාමයක් දී මගේ මිතුරිය සහ මගේ පුහුණුකාරිය වූ අදිනා සොයා කුස්සියට ගියෙමි. ඇයගේ මවත් පියත් සමඟ ඇය මා කථාවට අල්ලා ගත්තේ සිනහ මුසු මුහුණිනි. වයසින් මුහුකුරා ගියද ගත දුබල වුවද අදිනාගේ සියා විහිලු තහළු කලේ තරුණ කොලු ගැටයෙකු ලෙසිනි නමුදු ඔහුගේ මුහුණේ විදහමාන වූ ඒ කටුකත්වය , විඳවන අතීතය මට සිහිපත් කලේ ලංකාවේ පැවතුනු යුද්ධයයි. පවුලේ අයගෙන් තවත් විස්තර මගේ සවනත වැකුන අතර මගේ මුළු සිරුරම අප්‍රාණික කරන්නට ඒ කුරිරු අතීත විස්තර වලට හැකි විය. විරාමයෙන් පසු සවනත වැකුණු ඒ කුරිරු අතීතය මම ඉදිරි ලිපියෙන් ගෙන එමි.

පින්තුර වල අයිතිය අදිනා සහ ඇයගේ සියා සතු වන අතර මෙම විස්තර වල අයිතිය ඔවුන් සතුය!

සූරී- නෙදර්ලන්තය