Wednesday, May 17, 2017

පණපිටින් ජිවිත දවාළු ඒ අමානුෂික අතීතයට.... 3



අනේක දුක් කඳවුරක විඳි, මරණ බයෙන් හැකිළුණු ඒ අහිංසක මිනිසුන්ගේ කඳුළු කතාවේ ඉතිරිය ම වෙත දිග හැරියේ , හයිෆා ගේ ආදරණිය සැමියා වූ ආරොන් දයාන් යහ්ලොම් ය Aaron Dayan Yahlom ඔහු 1930 අගෝස්තු මස 23 දින පෝලන්තයේ උපත ලද අතර   ඔහු දෙමාපියන් සමඟ වාසයට ජර්මනියට ආවේ යුධ භීතිය එන්නට පෙරාතුව කිරිදරුවා සමයේදීය.  
එල්ලා වද දුන් අයුරු
මගේ  පියා වෛද්‍යවරයෙක් මව සාත්තු සේවිකාවක් මගේ පවුලේ සහෝදරයෝම තුන්දෙනෙක් අපි කාටවත් කරදරයක් වුන අය  නෙමෙයි අපි අපේ පාඩුවේ ජිවත් වුන අය. ඔය කියන අසික්කිත කාලය පටන් ගත්තේ මිනිසුන් භීතියෙන් පිඩාවට පත් කරමින්. මගේ පියා උත්සහ කලේ ඇමරිකාවට පැන ගන්න නමුත් සියලුම දෙනා ඇමරිකාවට යන්න දැඟලීම නිසා අපිට ඒ දේ කරගන්න බැරිඋනා. මුළු ජර්මනියම භීතියට පත් කරමින් කෘරත්වය පියාසර කරන්නට උණා. නොහිතූ මොහොතක මගේ පියා රෝහලෙන් වැඩ ඇරී ගෙදර එද්දී උස්සන් ගියා. අපිට ඒ ආරංචිය දුන්නේ අපේ අල්ලපු ගෙදර හිටපු මහත්තයා. එයා අම්මට කියුවා දරුවොත් අරන් පැනලා යන්න කියලා, ඒ දේ කරන්න හමු උණේ නැ අපිව කුදලන් ගියා, මගේ අම්මා අය්යලා දෙන්නා කොහාට උණාද දන්නේ නැ, අය්යලාව වෙනම යැව්වා අපිව වෙනම දැම්මා.

නිදහස් කරන මොහොතේ සිරකරුවන් සිටි අයුරු
අපිව ඇතුලට ගත්තේ ඇඳුම් සේරම ගලවලා මගේ තට්ටේ බු ගාලා විශාල හෝර්ස් එකකින් වතුර ගහලා නාවලා ඉරි පිජාමාවක් දුන්න අඳින්න එතන ඉඳලා අපිව නොමරා මරුවා.
මම අවුරුදු 8 ක් හිටියා කඳවුරෙන් කඳවුරට යමින්. ඔය කඳවුරු වල ඉන්න අය  ලව්වා වෙඩි උන්ඩ  පිරෙව්වා, අන්තිමේදී එව්වා ටෙස්ට් කලෙත් ඒ දේ කරපු එකාටම වෙඩි තියලා ඔය වගේ වාගේ පාහර  ක්‍රියාවන් තමා කඳවුරු ඇතුලේ උනේ. මාව  දැම්මේ බරපතල වැඩ කොටසට, කොටන් ඇදීම පැලීම බංකර් හැදීම , බර ගල් උස්සන් යාම වගේ නොයෙක් වැඩ..
අපිට කන්න ලැබුනේ නැති තරම්, අපි කොටන් කරේ තියාගෙන යද්දී අපිට ගහන්නේ කස වලින් පිටට  ලේ පෙරෙනකම්. දවාලද රෑ ද කියලා අපිට වෙනසක් නෑ අපි බර වැඩ කලා. කන්න නොදී , ඉන්න සැලැස්සුවා ,  බෙහෙත්  වර්ග ටෙස්ට් කළා, විෂ වර්ග මිනිසුන්ට විද්දා, බැටන් පහර කාපු දවසක් නොතිබුණා නම් ඒ බොහොමත් කලාතුරකින් තමා.

එළිමහනේ පාසල්

එකම එක දවසක් මම අහම්බෙන් මගේ අම්මව දැක්කා කම්බි වැට අතරින් අනේ මට දරා ගන්න බැරි උණා , අම්මා හොඳටම වැහැරිලා , අත්  වලින් ලේ ගලමින් තිබුණා,  එදා තමයි මම අම්මාව අහම්බෙන් හරි දැක ගත්තේ,

අතීතය කටුකය කුහකය අත්මාර්තකාමිය. යුදෙව් ජාතිකයින් පමණක් නොව රතු ඉන්දියානුවන්ට ස්පාංඥ ජාතිකයෝ කලේද එයමය, පොල්පොට් කලේද එයමය, ඒ කිසිම දෙයක් හරි යයි කියන්නට අපට බැරිය, එය එසේ නොවුණානම් හොඳ යයි කියන්නද   අපි දන්නේ නැත. කටුක අතීතය හාරා අවුස්සා ඔවුන් වසර ගණනාවක් තිස්සේ විඳවන විඳවිල්ල තවත් තුවාල කරන්නට මට සිත දුන්නේ නැත. මෙවන් පාපතර ක්‍රියාවන් අපේ රටේ නොවුණා නොවේ, වධකාගාර නොවුනද අවිහිංසක විශ්වවිද්‍යාල සිසුවන්ට කලේද එයමය එදා වධකාගාරයේ ගිනි උඳුන සහ  අපේ ටයර් සැයත්  අතර වැඩි වෙනසක් ඇතිද? 
හයිෆා හදා වඩා ගත් යුවළ

මම කතාව ඔවුන්ගේ ගැලවීමෙන් පසු දිවිය කරා යොමු කලෙමි. ආදර්ශය එතනය වධකාගාරය තුළ  නොව. මම දන්නා තරමින් අදිනා ඔවුනගේ ආදරණිය මිනිබිරියකි ඒ වගේම ඔවුන් දෙපලට තවත් දරුවන්  ඇති බව අදිනා මට පවසා තිබුණි. මේ ඔවුනගේ කතාවයි
හයිෆා සහ ආරොන් වධකාගාරයහි දුක් විඳි දෙපළකි. මේ ඔවුන්ගේ සැබෑ ජීවිතයයි.
හයිෆා අයගේ දිවිගලවා ගැනීමෙන් පසු දිවිය සිහි කරන්නෙ මෙසේය. අපිව නිදහස් කරගත්තේ ඇමරිකානු හමුදාව සහ මිත්‍ර හමුදාව එදා ඩකවූ Dachau වලට පහර දෙද්දී ද සැහෙන්න ජිවිත ගණනාවක් විනාශ වුණා වෙඩි වැදිලා. මට අදටත් මතකයි ඇමරිකානු සොල්දාදුවෝ දුවගෙන ඇවිත් අපිව වට කරලා ආරක්ෂාවට හිටපු හැටි එක සොල්දාදුවෙක් කියුවා ඔයාලා නිදහස් කියලා, මට නම් නිදහස් කියන්නේ මොකද්ද කියලා වත් වැටහීමක් තිබ්බේ නෑ. මම ඒ තරම්ම කායිකවයි  මානසිකවයි හොඳටම වැටිලා හිටියේ. අපිව ගලවා ගත්තා කියන දේ ඔලුවට ගියෙත් අපිව ඉන්ඩර්ස්දොර්ෆ් Kloster Indersdorf තාවකාලික ළමා රැඳවුම් කඳවුරට ගෙනගියාට පසුවයි. 
කායිකව සහ මානසිකව අඩපන වූ දරුවෝ
අපිව යුහුසුලුව වෛද්‍ය පර්යේෂණ වලට යොමු කෙරුණා අපිව විෂබීජ නාශක බෙහෙත් වලින් නැව්වා, උණුසුම් කෑම වේලක් දුන්නා, ඇඳක් සහ පිරිසිදු ඇඳුම් දුන්නා නමුත් අර මානසික සහ කායික දුෂණ මතකය අපට වද  දුන්නා.  නිදා ගන්න දුන්නෙම නෑ නපුරු හීන කුරිරුකම අපි හීනෙනුත් විඳෙව්වා. නමුත් ළමා රැඳවුම් කදවුරේ මානසික වෛද්‍යවරු සැහෙන්න වෙහෙසක් ගත්තා අපිව සුවපත් කරන්න. එත් කටින් කියන තරම් අපිට ලේසි වුණේ නෑ. නමුත් කාලය සමඟ අපි ජිවත් වෙන්නට ඉගෙන ගත්තා අපි සමඟම නිදහස් වුනු පිරිමි දරුවෙක් බාල්කයක එල්ලිලා සිය දිවි හානි කරගත්ත වෛද්‍යවරු එකට කිව්වේ නිදහස් වීමේ හර්දය සාක්ෂිය Survivors Guilt  නිසා කියලා. ඒ ඉන්ඩර්ස්දොර්ෆ් කියන ළමා කඳවුර තාවකාලික නවාතැනක් උණා අපි හැමෝටම අපි කුඩා දරුවන් නිසා අපිව බලාකියාගන්න දෙමාපියන් ලඟට පිටත් කළා ලියකියවිලි ඇතිව. මට ලැබුනේ ඔස්ට්‍රියානු  ජාතික මවක් සහ පියෙක් ඔවුන් දේපල මාව ඉමහත් ආදරෙන් බලාගත්තා. මට මහන්න, ගොතන්න ,උයන්න කියලා දුන්නා , ඒ වගේම පල්ලියේ පාසලට අකුරු කරන්න ඇරියා

නාම පුවරු සහිත දරුවන් නෑදෑයෝ සොයා

යුද්ධයෙන් විනාශ වුන නිසා පාසල පැවතුනේ ගස් යට එළිමහනේ. ඔවුන් ජිවත් වුනේ බෙල්ජියමේ. ක්‍රමයෙන් ක්‍රමයෙන් යුරෝපය යුධ විනාශයෙන් සුවපත් වෙන්නට පටන් ගත්තා. නමුත් කාටවත් ඒ වේදනාව අමතක වුනේ නෑ . ජීවිතය අපට ලෙහෙසි වුනේ නෑ විශාල සටනක් කරන්න උණා අපිට නැවත ජීවිතය ලබා ගන්නට.
මාව හදා ගත පවුලට මුදල් අපහසුකම් නොතිබුණා නොවෙයි නමුත් ඔවුන් මටත් තවත් පිරිමි දරුවෙකුටත් දෙමාපියන් උණා. ඔවුනගේ දරුවන් දෙදෙනා සමඟ අපි 4 දෙනෙක් ඒ ගෙදර හිටියා. ඒ දෙන්න අපි හැමෝටම ආදරෙන් සැලකුවා. මගේ ඥාතියෝ නම් කවුරුවත් මට ආපසු හම්බ උනේ නෑ කදුළු රූරා වැටුණු දෙනෙතින් ඇය මා සමඟ පැවසුවාය. වයස අවුරුදු 16 වෙද්දී මම ගණකාධිකරණය විභාගය සමත් උණා. ඒ මඟින් මට ග්‍රාමීය බැංකුවක ලිපිකාර තනතුරකට යන්නට හැකි උණා. එතනින් තමා මගේ ජීවිතය ක්‍රමයෙන් ක්‍රමයෙන් ඉදිරියට  ගියේ.. මම හැම විටම පොත් පත් කියෙව්වා  අර කුරිරු මතකය මනසින් අතුගා  දමන්න. ඒ නිසාම පොත පතේ වැඩට මම දක්ෂ උණා එනිසාම තමා  මට මෙතරම් ඉක්මනින්ම රස්සාවක් ලැබුණේ, මදහස් සිනාවකින් යුක්ත වූ ඒ මුහුණේ කුඩා ආඩම්බරයක්ද මම දුටුවෙමි.  

කටුක දිවියක හැලහැප්පීම් මත ගොඩනැගුණු ඒ ජිවිතයේ අරුණාලෝකය වූ ඒ ආදරණිය සැමියා මුණ ගැසීමද ඇයගේ දෛවය විය හැක. එම දුක විඳි කෙනෙක් එම දුක අඳුරයි එසේ නොවුණා නම් ඇයටද දිවි ගෙවන්නට වෙන්නේ තමුසේ දෙසාබාන්නේ බොරු ඕයි හිට්ලර් හරි හොඳා එයා තමා ජර්මණිය ජර්මන් ජාතිකයින් පළමුව කියලා ගොඩනැගුවේ කියන මතයේ ඉන්න ඇලේ ගෙම්බෙක් සමඟ විය හැක,, නමුත් එය එසේ නොවුණි. එය ඇගේ වාසනාව ලෙස මම සිතමි.  
 
ආරොන් මහතා සොයුරන් සමඟ
එදා කඳවුරක බැට කෑවද ජිවිතයේ හැල හැප්පීම් සියල්ල විඳ දරාගෙන ආදරණිය දරුවන් 5 දෙනෙන්කුට පියෙක් වූ ඒ ආදරණිය සැමියා ආරොන් මහතා දෙස මගේ  නෙත් යොමු විණි.




ඒ ආදරණිය වචන පෙළ මීළඟ ලිපියෙන් ගෙන එන බලාපොරොත්තුව ඇතිව මම අදට නවතිමි.
පිංතුර සහ මතකයේ අයිතිය අදිනා සහ අයගේ පවුල සතුය!  මෙම පින්තුර යුදෙව් ජාත්‍යන්තර සංවිධානය මගින් වෙනත් වෙබ් අඩවි වල පල කර ඇති බව මගේ මිතුරිය පවසා සිටියාය.

සූරී- නෙදර්ලන්තය

No comments:

Post a Comment