Showing posts with label ප්‍රේමාන්විත කොල්ල කෑම. Show all posts
Showing posts with label ප්‍රේමාන්විත කොල්ල කෑම. Show all posts

Monday, February 13, 2017

වැලන්ටයින් උත්තමයා සහ වෙළඳ බඩගෝස්තරවාදය!




වැලන්ටයින් දිනය ඉතිහාසයේ  විවධ ආකාරයෙන් ලියවී ඇති නමුදු අද පවතින වැලන්ටයින් දිනය මෙයයි යන්න හරියටම සාක්ෂි නොමැති බව පැහැදිලි කරුණකි. ඉතිහාස ගත කරුණු අනුව මෙය ශාන්ත වැලන්ටයින් තුමා සිහිපත් කිරීමේ කතෝලික  නිවාඩු දිනයක් වුවද  මෙම ශාන්තුවරයා කාඩ් ,,මල් පොකුරු යැවීමට සම්බන්ධ විම නම් විහිළුවක්  සේම එයට කිසිම සක්ෂියක්ද නැත.  අතීතය කෙසේ වෙතත් මම ජිවත් වන නෙදර්ලන්තේ මෙතුවක් කල් පුරාවට මම  දැකපු වැලන්ටයින් සිද්ධීන් කිහිපයක් සහ අත්විඳි සිද්ධීන්  මගේ හදවතට  ගෙන දෙන්නේ සොම්නසක් මදහසක් සහ කලකිරීමක්..  


මල් නෙදර්ලන්තය පුරාවට දිදුලන දෙයකි. මල් නම් ඕලන්දය ඕලන්දය නම් මල් බස් වහරේ පවතින්නේ එලෙසය. ජාතික විජාතික කාගේත් ඉල්ලීම  රටට ආවේනික ටියුලිප් මලය. එහෙත් පෙබරවාරි මස මෙම ඉල්ලුම බිංදුවට බසී. ගෙවල වැට  අයිනේ පැල වෙන කවුරුත් වැඩි තැකීමක් නොකරන රතු රෝස මල මුළු රටම නතු කර ගන්නේ නිරායාසයෙනි.  ඉයුරෝ 2.50 ගන්නට පුළුවන් මේ මල ඉයුරෝ 25 දක්වා පෙබරවාරි මස   මුල සතියේ ඉහල යයි. සුභ පැතුමත්   එසේය ශත .50 සුභ පැතුම  ඉයුරෝ 4.50 දක්වා ඉහල යයි නොඑසේ නම් ඊටත් වැඩිය. අවන්හල් වල තත්වය ඊටත් අන්තය. බඩගින්නට  කෑම  වේලක් කන්නට අවන්හල් වල මෙදිනට ඉඩ නැත.  එදිනට අවන් හලකින් කන්න නම් මාස  ගණන් පෙරාතුව මේසයක් වෙන් කරගත් යුතුය. බහුතරයක් එසේ කරන්නෝ වෙති.කවදත් කන පාන්  ගෙඩිය ගන්නා  බෙකරියද ඊට දෙවැනි නැත. මේ කාලය තුල විශේෂ පාන්  බිහි වෙති. ඒ වැලන්ටයින් පාන් ය. එකම වෙනස පාන්  ගෙඩිය තුල රෝස පාට  අයිසින් තලියක් තිබීමය. එය අනිත් පාන් වලටවඩා  මිල  අධිකය. කල් තබා ගැනීමට  වත්  නොහැකිය.  සාමාන්‍යයෙන් අපි සතියට බඩු     ගන්නා  සුපර් මාර්කට් එකෙත් ඔය සින්දුවමය. හැම එලවලුවක්ම හදවත් සහිත සෙලොපෙන් නම් කොළ වල ඔතයි. නිකම්ම නිකම් තක්කාලි එදාට වැලන්ටයින් තක්කාලිය ඒවගේම මිලත් අධිකය.

 වැලන්ටයින් උත්තමයා  සිහි කිරීම කෙසේ වෙතත් අද වැලන්ටයින් දිනයේ තත්ත්වය එයයි. දැනට වසර ගණනක සිට පෙබරවාරි මස ඉතා සීතලය ඒත්  බෝට්ටු සවාරි කාරයෝ ලස්සන බැලුම් වලින් බෝට්ටු සරසා දෙගුණයක් මිල අය කරති. හෝටල් වල වැලන්ටයින් කාමර හදති  , රතුපාට තිර රෙදි, ඇඳ  රෙදි දමා  ලස්සන මල් පොකුරු තබා තුට්ටු දෙකේ චොකලට් පෙති රතු පාට පිරිසියක තබා , හම්පඩ කාමර මනරම්ව  සරසා වැලන්ටයින් සුයිට් යනුවෙන් නම් කර තෙගුණයක මිලට එක රැයකට  විකුණති. කෙටින්ම කියතොත් වැලන්ටයින්  මේනියාව   දෛනික ජිවිතයේ සියලුම අංග නතු කරගනී. ලදරුවාගේ චු පැම්පරයේ  පවා I love you සඳහන් කර මිල වැඩි කර විකුණති. වෙළෙන්දා  කොපමන පරිභෝගියකයාව ගසාකන්නේද යන්න තේරුම් ගැනීමට සමහර අයට  මෙතරම් අපහසු මන්ද යන්න මට නම් ප්‍රහේලිකාවකි.


 


 


 


 


පිට රට වල ජිවත් වීමට යන්නට පෙර මට වැලන්ටයින් ගැන තිබුණු දැනීමක් නැත. මට තිබුණූ  අත්දැකීම්  නම් පාසල් නේවාසිකාගාරයේ සිටින කාලයේ එම නේවාසිකාගාරයේම නවාතැන් ගත්   අක්ක කෙනෙකුට දෙන්න යයි කියා අසල්වැසි පාසලේ අය්යා  කෙනෙක්  මගේ අතට දුන් පොත තුල තිබුණු චොක්ලට් එක ගිල දමා  අදාල අක්කාට  පොත ගෙනිහින් දීම. අදටත් මගේ මුහුණට මදහසක් ගෙන දෙන ඒ වැලන්ටයින් සිදුවීම වැනි දෑ ය නො එසේනම් නම් ජැක්සන් ඇන්තනි මහතා ගයපු  වේදිකා නාට්‍යක ගීතයකි “වැලන්ටයින් උතුමාණනි උඹේ සබුක්කුවෙ පහර කකා  ගත කල මනරම් සොඳුරු දිවිය ඒ ..." ඒ අත්දැකීම් නම් වර්ථමානයේ වැලන්ටයින් අත්දැකීම් වලට වඩා   බෙහෙවින් අහිංසකය. 

නමුත් පසුකාලීනව සිදුවූ යම් යම් සිදුවීම් හමුවේ වැලන්ටයින් දිනය ගැන මට ඇති වුයේ කලකිරීමකි. එදා 2005 වසරේ පෙබරවාරි මස 14 දින බෙල්ජියමේ සිට නෙදර්ලන්තය බලා  එන ගමනේ මස 3 ක් වයස මගේ පුංචි දියණිය සමග අපි වහනය මග නතර කලේ බඩගින්නට යමක් අනුභව කරන්නට නමුත් අප ගිය සැම  අවනහල්ක්ම කියා සිටියේ ඔවුන් සම්පුර්ණයෙන්ම පිරි ඇති බවයි. පොඩි පැටික්කිට  කෑම  මම ළඟ තිබුණු නිසාවෙන් අප කවුරුත් සැනසීමට පත් වුණ  නමුත් යකෙක් කන්න තරම් තිබු බඩගින්න නම් යටපත් කරන්නට ඒ සැනසීමට පුළුවන් වුනේ නෑ . අවසානයේදී පැට්‍රොල් හලකින් අපි යන්තම්  පාන් කැබැල්ලක් ගිල දමා  තේ කෝප්පයක් බී  තෙගුණයක බිලක් ගෙවා දමා  නිවසට ආවෙමු.


 වැලන්ටයින් උත්තමයා  නියම උත්තමයෙක් විය හැක එහෙත් අද කාලයේ සිදුවන්නේ ආදරය සැමරීම කෙසේවෙතත් කුට වෙළඳුන්ගේ තක්කඩි වෙළඳ උපායන්  වලට අපි  නතු වීමයි. දල වශයෙන් මිලියන 14 සුපතුම්පත් ද , මිලියන 10 රතුරෝස මල් ද , මිලියන 9 පුළුන් වැලන්ටයින් වල්ස්සුද , මිලියන 14.5  වැලන්ටයින් චොකලට් ද නෙදර්ලන්තයේ පමණක්  මෙම පෙබරවාරි මුල සතිය තුල අලෙවි වන බව සංගණන වාර්තා සැපයුම් අංශ පවසයි.

 

 


කවුරුත් උමතුවෙන් මෙන් හැසිරෙන වැලන්ටයින් දිනය ගැන මගේ සැමියා දරන්නේ අමුතුම මතයකි. ඔහුගේම වචන වලින් කිවහොත් මමත් දරුවත් සමඟ ගත කරන  සැම  මොහොතක්ම වැලන්ටයින් මොහොතකි, මම  අතින් ඉවෙන බොජුන වැලන්ටයින් බෝජුනකි. පවුලම එකට ගත කරන නිවාඩුව වැලන්ටයින් නිවාඩුවකි . ඔහුට පෙබරවාරි 14 තවත් එක දවසක් පමණි. ඔහුට නම් වැලන්ටයින් යනු වෙළඳ උමතුවකි ගසා කෑමකි කථාව  සත්‍යය.එය එසේ නොවේ යයි කියන්න මගේ අත්දැකීම් තුලින්ද අපහසුය. මුදල දෙවියා  කොටගත් ලොවක එය එසේ නොවුනහොත් උදාවන හිරු බස්නාහිරින් නැග  එනු ඇත. ජනවාරි මස තුන්වන සතියේ ඔහු සති තුනකටම නිවසට  අවශ්‍ය දෑ මිලදී ගන්නේ මෙම උමතුව මගහැරිමටය. වාද  විවාධ  නොමැති පවුලක් නොමැත, එය එසේ වෙන්නට නම් ඔවුන් කනත්තේ සමාදානයේ සැතපෙන පවුලක් විය යුතුය. වසරකට එක දිනක් පමණක් තම බිරිඳගේ හෝ සැමියාගේ ආදරයෙන් වැඩක් ඇතිද එය තීරණය කිරීමට අපි වෙළෙන්දෙකුට භාර  කරමුද යන්න ඔබට භාරය.


පිංතුර අන්තර්ජාලයෙන් 

සූරී - නෙදර්ලන්තය