Monday, May 8, 2017

පණපිටින් ජිවිත දවාළු ඒ අමානුෂික අතීතයට.... 1



ඩකාවූ කඳවුර එදා
මිනිසත් බව ලැබීම භාග්‍යක්  බව සැබෑ  නමුදු , කෘර බව දෝතින් දරා  දරුවන් උපදින බව උඩ තරු දෙස බලා නැකත් හදන කප්පිතන්ටත් අසු නොවන කරුමයක් බව ඉතිහාසය දෙස බලන විට අපට තේරුම් ගත හැක. යුදෙව්වන් වීම කරුමයක්ද නොමැතිනම් කුමක්ද යන්න මට අදටත් නොවැටහේ. තරුණ ළාබාල නිලධාරිණියක ලෙස  එක්සත් ජාතීන්ගේ සංවිධානයට මම  එක්වුණු වකවානුවේ, මා  එම සේවයට පුරුදු පුහුණු කරනු ලැබූ නිලදරුවන් අතරින් අදිනා යහලොම් Eidina Yahlom යුදෙව් ජාතික කාන්තාවකි. ඇය නිහතමානිය කරුණාවන්තය නමුදු අපහාස චෝදනා අසාධාරණය  හමුවේ ඇය සැපින්නකි නමුත් මගේ කථා නායිකාව ඇය නොව ඇගේ ආදරණිය මිත්තණියයි. දෙවන ලෝක යුධ සමයේදී ඉපදුන ඇය  යුදෙව් වධකාගාර වල රස දන්නා කෙනෙකි. ගොත ගැසෙන හඬින්  ඇය මට පැවසු ඒ වධකාගාරයේ අප්‍රසන්න තිත්ත කතාව ඇය මට පැවසු අයුරින්ම මම මෙසේ වදනට නගමි.
 
අමානුෂිකත්වය විදහා පෑම

ඇය නමින් හෙයිෆෙට්ස් හස්සන් ය Heifets Hassan , 1936 පෙබරවාරි 12 දින ඇය ජර්මනියේ මාන්හැයීම් නම් නගරයේ උපත ලැබුවාය. පවුලේ එකම දරුවා වූ ඇය ව්‍යාපාරික පියාත් මවත් සමඟ සතුටින් වාසය කළාය.
" මගේ පියාට කඩයක් තිබ්බා  මගේ මව මාවත් බලාගෙන මැහුම් ගෙතුම් කලා . ඉවුම් පිහුම් අම්මාට  හොඳට පුළුවන්. ඇයගේ  මදහස් සිනාව ඇගේ  ළමා කල සිහිගැන්වූ  බවට කදිම නිදසුනකි. ඒ දවස් එතරම් හොඳ කාල නෙමෙයි. යුද්ධය පටන් ගත්  කාලය. භීතියෙන් ඇගේ  දෑස  කුඩා වී හැකිලෙන යුරු මගේ ගතද සසල කරන්නට සමත් විය. 
ගෑස් බෝතල් සුදානම් කිරීම

මගේ අම්ම කියන විදිහට අපේ අවාසනාවට හිට්ලර් ජනාධිපති උණේ. අපි හිතුවේ නැ  කීයටවත් මෙහෙම වෙයි කියලා.අපි ගුහාවකත් ජිවත් වුන  කාලයක් තිබ්බා . අපි ඇඳන් හිටපු ඇඳුම් පිටින්ම තමා හැංගෙන්න දිවුවේ. අනේ මට ලස්සන ලොකු පුසෙක් හිටියා. පව් අපිට ඌව  දාල යන්න වුණා . මට අදටත් දුකයි මතක් වෙද්දී අපිත් අසරණ වුණා නේ ඉතින් මොකෝ කොරන්නේ. අපි හිටපු ගුහාවේ කන්න තිබ්බෙත් නෑ හරියකට හිතවත් අය  අපට කන්න ගෙනත් දුන්නා  එයාලට පුළුවන් හැටියට. අපේ අම්මට තව දරුවෙක් ලැබෙන්න හිටියේ. එත් නාසි හමුදාව අපිව කුදලං ගියා. අපිව හරකුන් දක්කනවා වගේ ස්ටේසමට දක්කන් ගියා .මගේ අම්ම තාත්තා  ඇතුළු හැමෝමව. ඩකාවූ Dachau කඳවුරට අම්මව ගිය ගමන් වගේ නාන්න කියලා  කාමරයක් තුලට ඇරියා අනේ මම එදාට පස්සේ මගේ අම්මාව  ආයිත් දැක්කේ නෑ .  රූරා  වටෙන් කඳුළු තුලින් ඇය  කථා  කරද්දී මගේ සිත දිව ගියේ 88 /89 වසර ගණන් වල කැළණි ගඟ වෙතය. 
 
අළු වෙන ජිවිත
වධකාගාර ලෙසින්ම නොවුනත් සිදු වුනේ එකම දේ නොවන්නේද යන කුතුහලය මට ඇති වුණි, දවස් ගණන් ගල් කඩමින්  දුක්විඳි ඇගේ  පියා නාන්නට ගිය අතර ඇයට පියාද අහිමි විය. මම ගල් කැඩුවා , මිනී ඇද්දා , වලවල් කැපුවා මගේ පුංචි අත්  දෙකෙන්. මට දවස් මාස ගත වෙනවා හොඳට දැනුණා , මට අදටත් දරා  ගන්න බැරි දුකක් ඇති වෙන්නේ මගේ දෙමවුපියන්ට වුන දේ මතක් වෙද්දී,  මිනිසුන් හරියට එම කඳවුරු වල දුක් වින්දා, ඒක අපායක් එත් ජර්මන් ජාතිකයෝ වීඩියෝ කරලා පෙන්නුවේ උන්ගේ දරුවන්ට මේක සුර පුරක් විදිහට. එවන් ප්‍රෝඩා වලටද නාසි උන් දක්ෂයි. 
 
කෘරත්වයේ අභිමාණය පොතේ සලකුණු කරමින්

ඒ කඳවුරු හරිම ලේ ගඳයි ඒ වගේම මියෝ පිළිස්සෙන ගඳයි , රැට ගැනුන්ව ගෙනියනවා නාසි බැරැක්ක වලට ඇති  තරම් අමානුෂික විදිහට ලිංගික අතවර කරනවා සමහරු ඒ වේදනාවෙම මියගියා. එතකොට ගිහින් මල මිනි ගොඩට විසි කරනවා. මට කියන්න වචන නෑ එ ගැන. දරුවන් ලැබෙන්න ඉන්න අයව ඇත දරුවන්ව කෙලින්ම යවන්නේ නාන්න. නාසිය කියන්නේ දරුවෝ වසංගත කියලා. දම්වැල් දාලා ගෙනියන්නේ වැඩට , ගල් කඩන වැඩ , බංකර් හදන වැඩ , තවත් කොම්පැනි කාරයින්ගේ වැඩ මේ වහල්ලු කළා. කන්න ලැබුනේ පාන් පෙත්තක් එකත් එක්කෝ වේලිලා නැතිනම් තෙමිලා. බල්ලන්ට විසි කරනවා වගේ අපිට විසි කලේ. කඳවුර අවට ගෙවල්වල මිනිසුන් සමහර වෙලාවට වට අයිනට ගෙනත් මොනවා හරි අපිට දුන්නා, නමුත් එකත් හැමදාම නැත. මාස ගණන් සති ගණන් ගෙවුණා හැමදාම හවසට එදා දවස පන ගැලවීම ගැන අපි දෙවියන්ට ස්තුති කලා. 
 
නිරුවත් කොට තට්ටය ගෑම
අපි කාටත් තිබුණේ  අපි අද මරයිද හෙට මරයිද කියන බය. සමහරු බයටම මිය ගියා සමහරුන්ට කක්කාත් ගියා බයටම. මගේ අම්මා තාත්තා  මට නිතරම සිහි වුණා මට ඒ දෙන්නා  ළඟ ඉන්නවා වගේ දැනුණා මම හීනෙන් අම්මාව දැක්කා මගේබඩ කකියනවා එතකොට. මට මම විතරයි කියන දේ මට එතකොට මට හොඳින්ම වැටහිලා තිබ්බේ. මාත් එක්ක හිටපු හුඟක් අය අද හිටියා හෙට නෑ , මම වගේ දහස් ගණනක් දරුවෝ හිටිය යුදෙවු විතරක් නෙමෙයි හැම ජාතියක්ම වගේ හිටියා  නාසි ළමයි හැර. සමහර ය වෙන කඳවුරු වලට යැවුවා. අපිව ඒ කඳවුරේම තියාගෙණ  හිටියා . අපේ අතේ නොම්මරයක පච්චයක් කෙටුවා , ඉරි පිජාමා එකක් දුන්නා අඳින්න එව්වා කවදාවත්ම හේදුවේ නෑ අපි නෑවේ නෑ අපිට වතුර හෝර්ස් වලින් ගහනවා අපේ ඇඳුම් පිටින්ම ඊට පස්සේ අපි වෙවුල වෙවුල ඉන්නවා හීතලේ.
 
සිරුරු ගොඩ ගැසීම
 මට දැන් මහන්සි අපි තව ටිකකින් කථා කරමුද. ඇයගේ වයසත් මෙම කටුක කතාව සිහිපත් කිරීමෙන් ඇති වන කම්පණය ගැනත් සළකා මම  ඇයට විරාමයක් දී මගේ මිතුරිය සහ මගේ පුහුණුකාරිය වූ අදිනා සොයා කුස්සියට ගියෙමි. ඇයගේ මවත් පියත් සමඟ ඇය මා කථාවට අල්ලා ගත්තේ සිනහ මුසු මුහුණිනි. වයසින් මුහුකුරා ගියද ගත දුබල වුවද අදිනාගේ සියා විහිලු තහළු කලේ තරුණ කොලු ගැටයෙකු ලෙසිනි නමුදු ඔහුගේ මුහුණේ විදහමාන වූ ඒ කටුකත්වය , විඳවන අතීතය මට සිහිපත් කලේ ලංකාවේ පැවතුනු යුද්ධයයි. පවුලේ අයගෙන් තවත් විස්තර මගේ සවනත වැකුන අතර මගේ මුළු සිරුරම අප්‍රාණික කරන්නට ඒ කුරිරු අතීත විස්තර වලට හැකි විය. විරාමයෙන් පසු සවනත වැකුණු ඒ කුරිරු අතීතය මම ඉදිරි ලිපියෙන් ගෙන එමි.

පින්තුර වල අයිතිය අදිනා සහ ඇයගේ සියා සතු වන අතර මෙම විස්තර වල අයිතිය ඔවුන් සතුය!

සූරී- නෙදර්ලන්තය

1 comment:

  1. අසනීප නිවාඩු කාලේ දෙවන ලෝක යුද්ධ සමයේ චිත්‍රපට කීපයක් බැලුවා

    හැමදාම අඬලා ඉවරයක් නැහැ කතාව ඉවරවෙද්දි

    Naked Among Wolves, the boy in striped pyjama වගේ ඒවා

    කතාවක් නෙමෙයි ඇත්තටම වුනා කියලා හිතනකොට බඩවැල් පවා දනවා

    ඕවා දන්නේ නැති අපේ එවුන් කියනවලු හිට්ලර්ට වැරද්දක් කියන්න බෑ කියලා හිට්ලර් හරි කියලා 😬🙃😬🙃

    දිගටම ලියන්න මේ සෝබර කතාව ස්තුතියි සූරී නගා 😢😢😢😢😢

    ReplyDelete