Tuesday, February 21, 2017

ඕලන්දයේ පුංචි අයගේ පාසල



මම පුංචි කාලේ  පාසල් තේරීම කියන්නේ යුද්ධයක් හා සමානයි. මගේ මවත් පියත් පාසල් ගැන දැරූ මතය නිසා එවන් යුද්ධයකට මාව   අසු  නොවුනද අසු  වුනු  අය අප්‍රමාණය. රාජකීය ,විශාකා , සිරිමාවෝ , ආනන්ද ,නාලන්ද , තරඟයට  ඉතා ඈතට විහිදෙන ඉතිහාසයක් ඇත. නමුත් ඒ  ලංකාවේදීය. ඕලන්දයේ පාසල් ක්‍රමය ඊට හාත්පසින්ම වෙනස්ය. මෙහි ජනාවාස  අයත් ප්‍රදේශ වැයික්කි යනුවෙන් හඳුන්වති. මෙම වැයික්කියකට පාසල් කීපයක් ඇත ඒ රාජකිය , විශාකා නොව පුංචි දරුවන් කාගේත්  ප්‍රාථමික පාසලයි.

මගේ දියණිය මුල්වරට ගිය ප්‍රාථමික පාසැල
ඕලන්දයේ උපදින සෑම දරුවෙක්ම පාසල් යායුතුමය. මෙම දරුවන්  තමා  ජිවත්වන ප්‍රදේශයේ නිවසට නුදුරු පුංචි පාසලට යන්නේ  වයස අවුරුදු 4 දී. පාසල් යැවීම සම්බන්ධව අදාල තොරතුරු ලිපිය දෙමව්පියන්ට තමා ජිවත්වන නගරශලාවෙන් එවනු ලබන්නේ දරුවාට මාස 24 පිරෙද්දිය. වයස අවුරුදු 4 දී පාසල් යාමට පෙර මාස 24 සපිරුණු දරුවන් සෑම  ප්‍රාථමික පාසලකම ඇති ළදරු පාසලට   යැවිමට දෙමවුපියන්ට පුළුවන. දරුවන් දිවා සුරැකුම් මද්‍යස්ථාන වල සිටී  නම් එම ළදරු පාසල් පෙර පුහුණුව එම ආයතන වලින් දෙනු ලබයි. මොකද්ද ඔවුන් කරන පුහුණු කිරීම? කෑම  බිම ගන්නා  අකාරය, අනිත් දරුවන් සමඟ සහ යෝගයෙන් ගත කිරීමට පුරුදු පුහුණු කිරීම  , පුංචි පුංචි කලාත්මක ක්‍රියාකාරකම් වලට පුහුණු කිරීම, පොටියට  පුරුදු කිරීම , වැසිකිලියක් නියම ආකාරයට පාවිච්චි කිරීමට පුහුණු කිරීම, පාවිච්චි කිරීමෙන් අනතුරුව අත්  සෝදා ගැනීමේ වැදගත්කම කියා  දීම, වැනි කරුණු දරුවාට වැටහෙන අයුරින් ඉතාමත් ඉවසීමෙන් මෙම පෙර පාසල් ගුරුවරු කියාදෙති . දරුවා ඩයපර් නමින් හඳුන්වන චු අමුඩය අතහැර නොමැති නම් එය අත  හැරීම  ද මෙම ගුරුවරු කරයි. නිවසක දෙමාපිය රැකවරණය  යටතේ හැදෙන වැඩෙන දරුවන් පාසල් යාම තරමක විශාල පියවරක් ලෙස මෙහි අධ්‍යාපන අමාත්‍යංශය සලකයි. ඒ නිසා ඊට අදාළ  සියලුම නිසි පියවර රජයේ අනුග්‍රහය ඇතිව සිදුකරයි. එමෙන්ම පාසැල යනු තමා  අධ්‍යාපනය ලබන ආයතනය විනා  පාසලේ නම තමන්ට ආභරණයක් නොවන බව මෙහි දකින්නට ලැබෙන දෙයකි. පාසල් නිළ ඇඳුම් මෙහි නොමැති අතර සෑම ප්‍රථමික පාසලක්ම නම් කරනුයේ එම ප්‍රදේශයේ නමිනි.
ප්‍රාථමික විදුහල් කොටස් 3 යුක්තය 1. විවෘත ප්‍රාථමික ,2. කතෝලික ප්‍රාථමික   සහ ඔමිනියම් ප්‍රාථමික .

විවෘත ප්‍රාථමික : කිසිම ධර්මයක් පිළිබඳව උගන්වනු නොලබයි.  ඕනෑම දරුවෙකුට ඇතුලත් විය හැක.

කතෝලික ප්‍රාථමික : කතෝලික ධර්මය උගන්වනු ලබයි. යාඥා කිරීම කලයුතුය , කතෝලික වීම අත්‍යවශය නොවුනද ඇතුලත් වීමට පහසුය, නමුත් ඕනෙම ආගමක දරුවෙකුව ඇතුලත් කල හැක.

ඔමිනියම් ප්‍රාථමික : කිතුනු දහම , බුදු දහම සහ ඉසලාම් දහම ගැන දරුවන්ට තරමක අවබෝධයක් ලබා දෙයි නමුත් කිසිම ආගමක වත් පිළිවෙත් කිරීමක් නොමැත. 

මාස 24 දී දරුවන් යන ළදරු පාසැල


 ඉහත වර්ග තුනින් තමා  කැමති පාසලකට දරුවාව දමන්නට දෙමාපියන්ට පුළුවන. පෙර පාසලින් ලද පුහුණුවෙන් පසු දරුවා තමා ජිවත්වන ග්‍රාමයේ හෝ නගරයේ තම නිවසට නුදුරු ප්‍රාථමික පාසලට දරුවා යවන්නට දෙමාව්පියන් ලක ලැහැස්ති වෙති. මෙහි පාසල් වසර පටන් ගන්නේ සැප්තැම්බර් මස සිටය. ප්‍රාථමික පාසලකට දරුවෙක් ඇතුලත් කිරීමට පෙර දෙමාපියන්  තමා  අවට පාසල් බැලීමට යති. පාසල් දෙමාපියන්ට පාසල් තුල , සහ ඔවුන්ගේ වැඩ කටයුතු කෙරෙන ආකාරය පිළිබඳව මනා  අවබෝදයක් එම අදාල පාසලේ ප්‍රධානියා ලබා දෙයි.  ඉන් පසු දෙමාපියන්ට තම දරුවාට  පාසලක් තෝරාගත හැකිය. නමුත් මෙම පාසල තම නගරයට අයත් පාසලක් විය යුතුය. වෙනත් නගරයක පාසලකට යැවීමට නම් විශේෂ හේතුවක් තිබිය යුතුය. විශේෂ ආධාර අවශ්‍ය පාසල්, අන්ධ  ගොළු පාසල් , ඔටිස්ටික් පාසල්  සහ ඩවුන් සින්ඩ්‍රම් පාසල් වලට අයත් වන දරුවෙක් නම් නගරශාලාවේ අනුමැතිය ඇතිව දරුවාව එම පාසලකට යවන්නට පුළුවන.  දරුවා පාසලට නම  ඇතුලත් කල පසු පාසලින් දරුවට පිළිගැනීමේ ලිපියක් , ගුරුතුමියගේ නම , සහ කෑම  පෙට්ටියක් සහ පාසලේ නම සහිත රෙදි මල්ලක්  සහ ටි ෂර්ට් එකක් තැපැලින්  එවනු ලබයි. සැම  ප්‍රථමික පාසලක්ම පලවෙනි වසර උදැසන 08:30 ට පටන් ගන්නා  අතර 08:15 සිට 08:20 දක්වා කාලය දරුවාව පාසලට ඇරලවන්නට පුළුවන. නමුත් පාසල් පටන්ගන්නා  වෙලාව නිවාඩු කාල  නගරයෙන් නගරයට වෙනස්වන අතර පාසල් නිවාඩු කාල එකම කාලය තුල සිදු වන්නේ නැත. ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට මෙය වෙනස්ය. පළමු වසර පළමු මාස  තුන දහවල් 12:30 දක්වා දරුවා පාසල් යන අතර ක්‍රමානුකුලව මෙම වෙලාව දහවල් 15:30 දක්වා වැඩි කරනු ලබයි. සමහරක් ප්‍රාථමික  පාසල් වල දරුවන් කෑම  පැයේදී ගෙදර ගෙනවිත් කවා  පෝවා  නැවත ගෙනගිය හැක. නොඑසේ නම් කුඩා මුදලක් පාසලට ගෙවීමද , දිවා  කාලයට නිවසට යා  නොහැකි දරුවන්ව බලාකියාගන්න පාසල තුලම ඇති ආයතනයකට දරුවා භාර කල හැක . එම ආයතන දහවල් කෑම පැයේ බලාගන්නා  ආයතන (Tussen de middag opvang/ Lunch time care)  නමින් හඳුන්වයි. මෙම ආයතන නිවසට යාමට නොහැකි දරුවන් සඳහා දිවා  ආහාරය සපයයි, මෙම ආහාරය දවසින් දවස වෙනස්ය. නමුත් පෝෂ්‍ය අහාර  වේලක් දීමට ඔවුන් සෑම  විටකම උත්සහ  කරයි.

පලවෙනි ශ්‍රේණියේ ඇතුලත

මෙම ප්‍රථමික පාසල් 1 ශ්‍රේණියේ සිට 8 ශ්‍රේණිය දක්වා පමණි. මෙම කාලය තුල දරුවා ගණිතය ,භාෂාව ,ජ්‍යාමිතිය , විද්‍යාව , කළමනාකරණය , සහ පරිපාලනය සම්බන්ධව ලිහිල් ක්‍රමයට ඉගෙන ගනී. විද්යා විෂයන් තුලින් ලිංගික අධ්‍යාපනය ලබා දෙන අතර සමාජ රෝග ගැන දරුවන්ට මනා  අවබෝධයක් ලබාදෙයි.
 මෙහි දරුවන් පිහිනීම අනිවාර්යෙන්ම කලයුතුය. එය පාසැල තුලින් ලබා නොදුන්නද රජයේ පුහුණු තටකයෙන් මෙම පිහිනීමේ ඩිප්ලෝමාව ලබාගත හැක. මෙම පිහිනුම් පාඨමාලාව කොටස් 3 යුක්තය. පිහිනුම් ඩිප්ලෝමා ඒ . තමාට දියට වැටුනොත් නොගිලි සිටීමට පුළුවන, ඩිප්ලෝමා  බි. තමා  දියට වැටුනහොත් නොගිලී ගොඩට පිහිනන්නට හැක. ඩිප්ලෝමා  සි . තමා  දියට වැටුනොත් තමා ගේත් තම සගයාගේත් පන බේරාගෙන ගොඩට පිහිනීමේ හැකියාව ඇත. සම ප්‍රාථමික පාසලක්ම සතියට දවස් දෙකක් ක්‍රීඩා පුහුණුව දරුවන්ට ලබාදෙයි. ඒ සඳහා ක්‍රීඩා ඇඳුම් ,සපත්තු බෑගයක දමා සඳුදට   පාසලට යවන අතර සිකුරාදාට නැවත නිවසට ගෙන එනු ලබයි.

ප්‍රාථමික පාසැල කොටස් තුනකින් සමන්විතය, එනම් 1,2,3 ශ්‍රේණි පුංචි බිල්ඩිම, 4,5,6, ශ්‍රේණි මධ්‍යම බිල්ඩිම,සහ 7,8 ශ්‍රේණි උසස් බිල්ඩිම යනුවෙනි.

ගුරුතුමියක් දරුවන්ට පැහැදිලි කරයි

1,2,3 ශ්‍රේණි සඳහා ඔවුනටම වෙන් වුනු ලෝකයක් ඇත , බොහොමයක් පාසල් මෙම අංශය කුඩා සුරංගනා  කතා ජීවමාන කරයි. දරුවන් කුමරකුමරියන් විදිහට ඇඳුම් ඇඳ  පාසලට පැමිණෙති. පන්ති කාමරය තුල සෙල්ලම් ගෙයක් , මාලිගාවක් වැනි දෙයක් අනිවාර්යෙන්ම ඇත. එමෙන්ම පුක් හෝ මින්ක් නම්වූ රෙදි බෝනික්කෝ දෙන්නෙක් මෙම පුංචි බිල්ඩිම තුල සැම  පන්තියකම ඇත. මෙම බෝනික්කෝ දරුවන් සමඟ නිවාඩුවක් ගත කිරීමට පැමිණෙයි. ඒ පැමිණෙන්නේ සුට්කේස් එකක් සමඟිනි.

පුක් දරුවෙක් සමඟ යන්නට සුදානමින්
  ඒ සුට්කෙසය තුල මේ බෝනික්කට රැ  ඇඳුමක් , අමතර යට ඇඳුමක්,සපත්තු දෙකක්, දත් බුරුසුවක් , දත්බෙහෙත් , පනාවක්, සහ වැඩ පොතක් ඇත. වැඩ පොතේ ඇති පුංචි පුංචි වැඩ දරුවා මේ බෝනික්කා  සමඟ කලයුතුය. මගේ දියණිය කුඩා කල ඇය  ට ලැබුණු වැඩ පොතේ තිබුනේ , කඩේ ගොස් කෙසෙල් ගෙඩි දෙකක් මිලදී ගෙන එකක් බෝනික්කට කන්න දී තමන් කාල  ඉවර වුනු පසු කෙසෙල් ගෙඩි දෙකේ ගණන කියද  කියා පොතේ ලිවිම. තමාගේ ප්‍රියතම අහාරය බෝනික්කට රස බලන්න දීම , එය හදන අකාරය ලිවිම. මිට අමතරව සැම  ක්‍රියාකාරකමක්ම පිංතුර ගෙන බෝනික්කාගේ දින පොතේ ඇමිනිය  යුතුය.   මෙම අංශයේ බොහෝ විට විවිධ ක්‍රියාවන් ජීවමානවම  කරයි. මෙම පන්ති වලදී ගුරුවරුන් දරුවන්ගේ හැකියාවන් තේරුම් ගන්නා  අතර ඔවුන්ගේ අඩිතාලම 3 පංතියේදී දමනු ලබයි. 3 පංතියේ සිට දරුවන් ඉගෙනීමට යොමු කරවයි. පුංචි පාසල්  වල බොහොමයක් පංති  විවිධාකාර නම් වලින් හඳුන්වති මෙම නම් එක්කෝ රටක නමක් , ප්‍රාන්තයක නමක් , නොඑසේ නම් ආදිවාසීන්ගේ නමක් නියෝජනය  කරයි.
 4,5,6 පන්ති වලදී දරුවන් තරමක් ගැඹුරින් සියල්ලම හදාරා බලන අතර , අධ්‍යාපනික චාරිකා බහුල වකවානුවකි. එමෙන්ම දරුවන්ට ජීවමාන අතදැකීම්  ලබාදෙයි. සතුන් සමඟ වැඩ කිරීම, වගා කිරීම වැනි සියල්ල දරුවන් අත්දැකීම් ලබා ගනී.පවුල් සහජීවනය යන තේමාව ඔස්සේ රජයේ වෛද්‍ය වරු ලිංගික අධ්‍යාපනය ලබා දෙන්නේ මෙම කාලය තුලදීය. නමුත් එය ජීවමාන අත්හදාබලිමකින් තොරය. 

පලවෙනි ශ්‍රේණියේ ඇති සෙල්ලම් නිවස


7,.8 පති වලදී මෙම දරුවන් මධ්‍යම පාසලට යැවීම සුදානම් කරයි. මෙම පාසල් කාලය තුල සෑම දරුවෙක්ම සිටෝ නම් රජයේ විභාගය වසරකට 3 වරක් ලියන අතර එයින් ලබන ලකුණු ප්‍රමාණය අනුව දරුවාගේ අනාගතය තීරණය වෙයි. යම් දරුවෙකුට අමතර උදව් අවශ්‍ය නම් එයද පාසලින් ලබා දෙයි. මෙහි ටියුෂන් පංති හෝ ශිෂ්‍යත්ව විභාග නොමැත. සුපිරි පාසල් තරඟයක්ද නොමැත
පාසැල තුල ඇති ක්‍රීඩාගාරය 


 සුරී -නෙදර්ලන්තය 
 පිංතුර වල අයිතිය මගේ  දියණියගේ  පාසැල සතුය

4 comments:

  1. ළමයින්ගේ ළමා කාලය මල් වගේ ගෙවිලාඅ යන්න රජයෙන්ම ගන්න පියවර හරිම අගෙයි..ලන්ඩනයේ අධ්‍යාපන ක්‍රමයත් තරමක් දුරට ඔයිට සමාන නමුත් හය වන වසරෙන් පසු ද්විතික පාසලට යද්දී තරගය පටන් ගන්නවා.. එක එක මට්ටමේ පාසල්, පහේ ශිෂ්‍යත්වයට සමාන පාසල් තොර ගැනීමේ විභාගයක් එහෙම තිබෙනවා..මෙහෙ 'පුක්‌' ලා නැහැ..

    ලස්සනට ලියාපු ලිපියක් ජයවේවා සූරී නගා

    ReplyDelete
  2. අපේ රටේනම් ළමයින්ව හැඩගස්වන්න යන්නෙ ලොකු උනාම නෙ . ඒ ක්‍රමය අසාර්ථක බව සමාජය දිහා බැලුවම පේනව . බහුතරයක් සමාජයට වෛරකරන්නො තමා හැදිල තියෙන්නෙ . රඟපෑමෙන් මිනිස්සු රවටාගෙන , යටින් අර ජඩ හැසිරීම ක්‍රියාත්මක වෙනව.
    ජපානයෙත් මුල් පන්ති වලදි ළමයින්ට උගන්නන්නෙ පිරිසිදු කිරීම් , සණීපාරක්ෂක ක්‍රම වගෙ දේ පමණයි කියා අහල තියෙනව.අපි පොඩිකාලෙ තිබුනු දියුණු වෙමින් පවතින ශ්‍රීලංකාව තාමත් දියුණු වෙමින් පවතිනව පේනවනෙ .මිනිස්සු බොහොමයක් ගැවසෙන උද්‍යාන වගෙ තැන් වල මත්පැන් බීලා , ඒ බෝතල් බිඳලා ,බෝතල් කටු හැමතැනම විසිරුවලා , කාගෙ හරි කකුලක ඇනියන් කියන චේතනාවෙන් ඉන්න මිනිස්සු මම දැකල තියෙනව . අන්න උන්වත් බ්‍රේන් වොශ් කරලා හරි ගොඩදාලා , අලුත් පරපුරට මේවගෙ මුලඉඳන්ම හොඳ අද්‍යාපනයක් දුන්නනම් අපේ රටත් ගොඩ යයි කියල හිතනව

    ReplyDelete
  3. ලංකාවෙ නං මෙවගෙ අධ්‍යාපන ක්‍රමයක් එයි කියල හිතන්නවත් බෑ... එහෙම එකක් ගෙනාවත් අම්මල ක්‍රියාත්මක කරන්න දෙයි කියල හිතන්න බැ

    ReplyDelete
  4. මේ ක්‍රම ඇත්තටම දැනගන්න ඕනේ ලංකාවේ අය .. දැන් වුනත් උවමනාවක් තියනවනම් වෙනස් කරන්න කිසිම බැරිකමක් නැහැ. ඒත් ඉතින් වෙනස් කලොත් ලොකු පාසල්වලට ළමයි දාල සල්ලි ගන්න ව්‍යාපාරේ ඇමතිගේ හිටන්ම නැතිවෙනවනේ. කවදා හරි රටට ආදරේ කෙනෙක් ඇවිත් 72 වගේ යහපත් ප්‍රතිසංස්කරණ කරයි කියල ප්‍රර්ථනා කරමු. එදාට සුරිගේ මේ ලිපිය ඉදිරිපත් කරමු...

    ReplyDelete